General28 April 2017

පොලිසියට ඔත්තුවක් දුන් පුද්ගලයෙකුත් හදිසියේ මියයයි

නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිසියට අල්ලා දුන් බව කියන ඔත්තුකරුවෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම - තබ්බෝව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

නිවසෙහි දොරගුළු විවෘත නොකිරීම නිසා ඔහුගේ ඥාතීන් පැමිණ දොර කඩා බලන අවස්ථාවේදී මෙම පුද්ගලයා නිවස තුළ වැටි සිටි අතර, පසුව රෝහල් ගත කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිට ඇති බවටයි.

මරණය සිදුව ඇත්තේ කුමන ආකාරයකට ද යන්න පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලිසිය ඇතුලු රාජ්‍ය ආයතන දැනුවත් කරන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහුගේ දැනුම්දීම අනුව පසුගිය දිනක ද නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියෙන් පසු වැලි ලොරියේ හිමිකරු මෙම පුද්ගලයාට බැන වදිමින් ඔහු පසුපස එළවාගෙන ගොස් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා අසල නිවසකට ගොස් එහි දොරගුලු ලාගෙන සිටි බව පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

නිවසේ දොරගුලු විවෘත නොකිරීම හේතුවෙන් එම පුද්ගලයාගේ දරුවෙකු පැමිණ දොර කඩා බැලීමේදී ඔහු නිවසේ වැටී සිටිනු දැක රෝහල් ගතකර ඇති අතර ඒ වන විටත් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes