General29 April 2017

ඇමතිවරුන්ට පිට කොන්දක් තිබිය යුතු බව රාජිත කියයි

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත බව කියන නව තනතුර සම්බන්ධයෙන් අදත් කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර තංගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යොදවා වෘත්තීය සමිති මර්දනය කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.

කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන ඇතැම් කාරණා වැරදි ලෙස අර්ථකථනය කරමින් බංකොලොත් දේශපාලන කණ්ඩායම් ඒවා ප්‍රචාරය කරන බවයි.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මේ පිළිබදව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊයේ කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සිදුකළ ප්‍රකාශය පිළිබදව ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි තමාගේ ප්‍රකාශයෙන් ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාදයට නොයන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

එමෙන්ම, දෙපා දෙතැනක තබා සිටින පුද්ගලයින්ට තමාගේ ප්‍රකාශය දැනී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සිදුවන සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අමාත්‍යවරුන්ට පිට කොන්දක් තිබිය යුතු බවයි.

තමන් කැබිනට් ප්‍රකාශකවරයා වගකීමෙන් ප්‍රකාශ සිදුකරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes