General30 April 2017

මැයි දිනයට පොලිස් නිලධාරීන් අද පෙරහුරුවක

මැයි දින විශේෂ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ පෙරහුරුවක් අද පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.

කොළඹ සහ මහනුවර පැවැත්වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂක සහ රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 8000 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.  

එමෙන්ම අමතර සී සී ටී වී කැමරා යොදාගනිමින් කොළඹ නගරය පරීක්ෂාවට ලක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියා.

මැයි දින පෙළපාලි හා රැස්වීම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දේශපාලන පක්ෂ හා කම්කරු සංවිධාන 15 ක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලදී මැයි රැලි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන කැම්බල් පිටිය, ගාලූ මුවදොර පිටිය, බී.ආර්.සී. පිටිය, ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගනය ඇතුළු ස්ථාන 15 ක් ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ යටතේ මාර්ග අංක 138 මහරගම - පිටකොටුව, මාර්ග අංක 154 කිරිබත්ගොඩ - අඟුලාන, මාර්ග අංක 176 නුගේගොඩ - හෙට්ටියාවත්ත, මාර්ග අංක 103 බොරැල්ල - කොටුව යන මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සඳහා හෙට දිනයේ විකල්ප මාර්ග නම් කර තිබෙනවා.

නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සියලූ රථවාහන බණ්ඩාරණායක වටරවුමෙන් ඉඟුරුකඬේ හංදිය, සිරිමාවෝ බණ්ඩාරණායක වටරවුම හරහා ආමර්වීථිය ඔස්සේ පිටකොටුවට පිවිසිය හැකියි.

ගාලූ පාරේ කොටුව සිට දෙහිවල දක්වාත්, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ සිට බොරැල්ල දක්වාත් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇති.

ඊට අමතරව අද රාත්‍රියේ සිට කොළඹ මාර්ග ගණනාවක රථ වාහන නවතා තැබීම සදහා ඉඩ ලබානොදෙන බවයි පොලිසිය පවසන්නේ.

එසේම, ඇතැම් මාර්ග මැයි පෙළපාලි පැවැත්වෙන වේලාවන්වලදී විටින් විට වසා තැබෙන අතර, ඇතැම් ස්ථානවල වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

මහනුවර පැවැත්වෙන මැයි දින පෙළපාලිය හා රැළිය වෙනුවෙන් හෙට උදෑසන 6 සිට ගන්නොරුව මාර්ගය සහ මහනුවර - පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.

ඒ අනුව කොළඹ සිට මහනුවරට පිවිසෙන සහ මහනුවරින් පිටවන වාහන සදහා විකල්ප මාර්ග නම් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes