General25 March 2020

නිරෝධායනයට ලක්වූ තවත් 201 දෙනෙකු නික්මෙයි - (වීඩියෝ)

නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද මුදා හරිනු ලැබුවා.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු සහ පූනානි හි නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 57 දෙනෙකු මෙලෙස මුදා හැරි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ.

මොවුන් පසුගිය 11 වනදා ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

ඊයේ දිනයේදී ද පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 311 දෙනෙකු ද නියමිත කාලසීමාව ඉක්මවූ පසු මුදා හැරිමටයි යුද හමුදාව පියවර ගනු ලැබුවේ.

එමෙන්ම, මන්නාරම -  ඕලූතුඩාව ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.

නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් තිදෙනා ගැන සැක සිතීමෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.

පසුගිය 13 වනදා මොවුන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සතුව වීසා බලපත්‍ර ද තිබූ බව නාවික හමුදාව සදහන් කළා.

කෙසේ වෙතත්, ඔවුන් මෙලෙස මන්නාරම ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාරණය සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.









Related recommendation
Hiru TV News | Programmes