General30 January 2025

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද කප්පාදු කරන බව, ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය තීරණය කළ අතර, එහි වඩාත්ම කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධවයි.

මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ පිහිටි නිවසේ කුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඒ සමග හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාටම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට නව රජයේ සෙසු සාමාජිකයින්ගෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.

නමුත් නීති විශාරදයින් පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ප්‍රතිලාභ සහ වරප්‍රසාද කප්පාදු කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පමණක් කළ හැකි බවයි.

මේ අතර අද කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව ප්‍රවාහන, මහාමාර්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි සියලු කප්පාදු කිරීම් කරන බවයි.

මේ අතර පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තිය එකමුතුව මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ අභියෝගය වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes