General03 September 2025

කල් දැමූ එ.ජා.ප සංවත්සරය 21 වෙනිදා කොළඹදී

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය මේ මස 21වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී උදෑසන 9.30ට පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග පවසනවා.

මීට පෙර මෙය 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඵජාප නායක රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන සංවත්සරය 21 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට ආරාධනා කරන බවයි.

විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීම යන තේමාව සඳහා ආණ්ඩුවට එරෙහිව පසුගිය දිනවල පෙළගැසුණු සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

වර්තමාන දේශපාලන තත්ත්වය ,රට හමුවේ ඇති අභියෝග සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ වර්තමානයේ වගකීම සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එදින විශේෂ ප්‍රකාශයක් රට හමුවේදී සිදුකිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

දේශපාලන පක්ෂ රැසක නායකයින් මෙම සංවත්සරයට සහභාගි වන නිසා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙන් පිට ස්ථානයක මෙම සමුළුව පැවැත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes