General21 September 2025

කලුතර ‍රෝහලේ මැර තර්ජනය ගැන GMOA අනතුරු අඟවයි

කලුතර නාගොඩ රෝහ‌ලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ලයට මැර තර්ජන එල්ල කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් හෙට (22) දිනයේදී වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම වෛද්‍යවරුන් ඇතුළුව සමස්ථ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම රෝහලේ වාට්ටු අංක 16 ප්‍රතිකාර ලබමින් සිටි පිළිකා රෝගියකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතින් පිරිසක් ඉකුත් (17) දා අලුයම 2.00ට පමණ රෝහල් වාට්ටුවට පැමිණ එහි රාජකාරි කළ වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධවන අයුරුන් හැසිරී ඇති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවා.

කළහාකාරී ලෙස හැසිරුණු මෙම පිිරිස වාට්ටුවේ අනෙක් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරයන් පවා ලබා දීමට ඉඩ නොදී  වෛද්‍යවරුන්ව සහ හෙදියන්ට තර්ජනය කරමින් පැයක පමණ කාලයක් වාට්ටුව තුළ රැදී සිට අතැයිද හෙතෙම සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද වාර්තාවේ.

කෙසේ නමුත් මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ (20) දිනයේදී අවසන් කටයුතු කර ඇති බවද සඳහන්.

රාජකාරියට බාධාකරමින් හැසිරුණු පුද්ගලයින්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාමත්මක නොකරන්නේ නම් හෙට (22) දිනයේදී කලුතර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes