General15 April 2026

අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය යාත්‍රාවක් සමඟ ධීවරයින් 4ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ පෙරේදා (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

උතුරු මැද නාවික විධානය මඟින් සිදු කළ නිරීක්ෂණයකදී මන්නාරමට උතුරු දෙසින් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් හඳුනාගෙන තිබූ බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එහිදී දේශසීමා නීති උල්ලංඝනය කරමින් තවදුරටත් මෙරට මුහුදේ රැඳී සිටි මෙම ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාව අදාල යාත්‍රාව වෙත නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ති‍බෙනවා.

නාවික හමුදා භාරයට ගත් මෙම ධීවර යාත්‍රාව සහ සැකකාර ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes