General30 April 2026

වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට

වතුර බෝතල් විකුණන මුවාවෙන් මිලි ලීටර් 375 බෝතල්වල නීතිවිරෝධී මත්පැන් පුරවා, සීල් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා.

මහර, දලුපිටිය ප්‍රදේශයේ නිවෙසක පෙරේදා (28) සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇතැයි සුරාබදු ඒකකය පවසනවා.

එහිදී වතුර බෝතල් ලෙස පෙනී යන අයුරින් සකස් කර තිබූ, කසිප්පු පිරවූ මිලි ලීටර් 375 බෝතල් 28ක් අත්අඩංගුවට ගත් බවයි සුරාබදු ඒකකය සඳහන් කළේ.

එහි තිබූ මුළු මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් 10,500ක් බවයි සුරාබදු විශේෂ මෙහෙම් ඒකකය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම උපක්‍රමශීලී ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ඒ. එන්. පේමරත්නගේ නියෝග මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරී පී. එන්. හේමන්ත යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කෙරිණා.

දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායකගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක දිසානායක, සැරයන් අනුර, කෝප්‍රල් රත්නායක (669), නියාමකවරුන් වන දුලාන් (694), පැතුම් (1198) සහ රියැදුරු දුමින්ද යන නිලධාරීහු මෙම වැටලීමට එක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes