International01 May 2026

පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්

හොංකොං පදනම් කරගත් ව්‍යාපාරික සමූහයක්, පැනමා ඇලෙහි වරාය කළමනාකරණය සම්බන්ධයෙන් පැවති නීතිමය ආරවුලකින් පරාජයට පත්වීමෙන් අනතුරුව, චීනය එල්ල කරන ආර්ථික පළිගැනීම් විවේචනය කරමින් බොලිවියාව, කොස්ටාරිකා, ගයනාව, පැරගුවේ, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ එක්සත් ජනපදය පැනමාවට සහය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

දශක ගණනාවක් පැරණි ගිවිසුම් ව්‍යවස්ථා විරෝධී බව තීරණය කරමින්, හොංකොං හි CK Hutchison සමාගමේ අනුබද්ධ ආයතනයකට පැනමා ඇලෙහි බැල්බෝවා (Balboa) සහ ක්‍රිස්ටෝබල් (Cristobal) වරාය පර්යන්ත පරිපාලනය කිරීමට අවසර දී තිබූ ගිවිසුම් පැනමාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනවාරි මස අගදී අවලංගු කරනු ලැබුවා.

ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ, එම රටවල් හය කියා සිටියේ අධිකරණ තීන්දුවෙන් පසුව, පැනමා ධජය සහිත නෞකාවන්ට "ඉලක්කගත ආර්ථික පීඩනයක්" එල්ල කරමින් චීනය පැනමාවෙන් පළිගෙන ඇති බවයි.

එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමට අනුව, චීනය මාර්තු මාසයේදී පැනමා ධජය යටතේ ලියාපදිංචි නෞකා 70 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා තබාගෙන ඇති අතර, එය "සාමාන්‍ය සීමාවන්ගෙන් බෙහෙවින් ඔබ්බට ගිය" සංඛ්‍යාවක්.

"බැල්බෝවා සහ ක්‍රිස්ටෝබල් පර්යන්ත සම්බන්ධයෙන් පැනමාවේ ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව සිදුවන මෙම ක්‍රියාමාර්ග - සමුද්‍රීය වෙළඳාම දේශපාලනීකරණය කිරීමට සහ අපේ අර්ධගෝලයේ ජාතීන්ගේ ස්වෛරීභාවයට බලපෑම් කිරීමට දරන නිර්ලජ්ජිත උත්සාහයකි," යැයි එම ප්‍රකාශයට අත්සන් තැබූ පාර්ශවයන් පැවසූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ X පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, පැනමාවට චීනය එල්ල කරන ආර්ථික පීඩනය පිළිබඳව වොෂින්ටනය "දැඩි ලෙස කනස්සල්ලට පත්වන" බවයි.

"අපි පැනමාව සමඟ සහයෝගයෙන් සිටිමු. පැනමාවේ ස්වෛරීභාවය හෑල්ලු කිරීමට දරන ඕනෑම උත්සාහයක් අප සැමටම තර්ජනයකි," යැයි ඔහු පැවසීය.
Related recommendation
Hiru TV News | Programmes