General01 May 2026

"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්වී අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය විසින් "පච මදිවට හොරු" යන තේමාව යටතේ සංවිධානය කළ කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති මැයි දින රැළිය අමතමින්.

එහිදී ජනතාව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ කිසිදු බාධාවකදී තම කණ්ඩායමේ එකමුතුකම බිඳ දැමීමට ඉඩ නොතබන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේග මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්, පක්ෂ දෙක එක්ව වැඩකිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස කළ යෝජනාවට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයට තමන් ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම, නමුත් පක්ෂ දෙක මේ වන විටත් එක්වී හමාර බැවින් නව කමිටු අවශ්‍ය නොවන බවත් ඔහු එහිදී සඳහන් කළා.

මෙම දේශපාලන එකමුතුව බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරන සුළු පිරිසක් සිටින බවත්, ඔවුන්ගේ බලාපොරොත්තුව සමගිය කඩාකප්පල් කිරීම වුවත්, මෙහිදී එම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට තවදුරටත් ඉඩ නොතබා අනිවාර්යයෙන්ම පක්ෂ දෙක එක්ව ඉදිරියට යන බවත් ඔහු අවධාරණය කළා.

මෙහිදී, වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ විපක්ෂ නායකවරයා, වත්මන් පාලනය "වැඩබැරි ආණ්ඩුවක්" ලෙස හඳුන්වනු ලැබුවා.

Related recommendation
Hiru TV News | Programmes