General03 May 2026

විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්

විශ්‍රාමික හමුදා සෙබළකුගේ ණය මුදලක් පියවා දීමට උදව් කරන බව පවසා රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියයක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නමැති ලාන්ස් කෝප්‍රල්වරයෙක්.

යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින පැමිණිලිකරු ලබාගෙන ඇති විශ්‍රාම ණය මුදල පියවීමට උදව් කළ හැකි බව සැකකාර හමුදා සෙබළා විසින් පවසා පැමිණිලිකරුගේ ණය විස්තර ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පැමිණිලිකරුට රුපියල් ලක්ෂ විසිපහක ආධාර මුදලක් ලබාගත හැකි බව පවසා ඒ සඳහා පෙර ගෙවිය යුතු මුදල් ලෙස අවස්ථා තුනකදී රුපියල් 129,600 ක මුදලක් සැකකරු විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි එම කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එම මුදල මහජන බැංකු ගිණුමකට බැර කරවා ගැනීමෙන් අනතුරුව, නැවත වරක් ලේඛන ගාස්තු ලෙස රුපියල් 13,457 ක මුදලක් එම ගිණුමටම බැර කරන ලෙස සැකකරු පැමණිල්ලට දැනුම් දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඉකුත් (30) දා සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes