General03 May 2026

"අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ" : මහින්දගේ පාර්ශ්වයෙන් පිළිතුරු

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

තවද, ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් මෙන්ම විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට කරන බලපෑමක් ලෙස තමන් දකින බවද ඔහු සඳහන් කළා.

රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි උනන්දුවක් දැක්වූවද, වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවටද ඔහු මෙහිදී චෝදනා කරනු ලැබුවා.

අල්ලස් කොමිසම නඩත්තු වන්නේ මහජන බදු මුදලින් බැවින් දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය නොදී මහා පරිමාණ වංචා පිළිබඳව ස්වාධීනව පරීක්ෂණ පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන දඩයම් හමුවේ බිය නොවන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා නීත්‍යානුකූලව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Related recommendation
Hiru TV News | Programmes