General06 May 2026

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී තිබෙනවා.

ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කර තිබෙනවා.

රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඉදිරියේදී එම ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි සඳහන් වෙන්නේ,

රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක හා බැඳුනු වැඩපිළිවෙලට ලෝක බැංකු නියෝජිතයන් සම්බන්ධ වී කටයුතු කිරිමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan, ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන Richard Walker, Anthony Obesekere සහ පාලන විශේෂඥ (goveance specialist) Till Hartman යන පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බව‍යි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes