General06 May 2026

භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි

ජාතික, ආගමික හා ශාසනික ගැටලුවලදී ත්‍රෛනිකායක මහා සංඝරත්නය නියෝජනය කරමින් ඇතැම් භික්ෂුන්වහන්සේලා තම පෞද්ගලික මත ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත සංඝයාවහන්සේටම නින්දා අපහාස විඳින්නට සිදුව ඇතැයි පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ පවසනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන යම් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් ගැටලු පැන නගින අවස්ථාවල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ, අනුනායක හිමිවරුන්ගේ අවසරය ඇතිව භික්ෂුන්වහන්සේලා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ නම් වඩා යහපත් යැයිද උන්වහන්සේ පැවසුවා.

පිරිවෙන් අධ්‍යක්ෂධුරයට පත්වීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (05) පස්වරුවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මාදෝවිට වජිරබුද්ධි හිමියෝ මෙසේ ද පැවසූවා.

‘ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනය භික්ෂුවට කැප නැහැ. අපේ රටේ භික්ෂුන්වහන්සේලා 40000 ක පමණ පිරිසක් වැඩ වාසය කරනවා. මේ සියලු දෙනා නියෝජනය කරමින් ඇතැම් භික්ෂුන්වහන්සේලා ජාතික, ආගමික හා ශාසනික ගැටලුවලදී මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරනවා. ගොඩක් වෙලාවට උන්වහන්සේලා ප්‍රකාශ කරන්නේ තමන්ගේ පෞද්ගලික මතයයි.

භික්ෂු සංස්ථාව නියෝජනය කරමින් යම් ප්‍රකාශනයක් කරනවා නම් ඒ සඳහා මහනායක හිමිවරුන්ගේ, අනුනායක හිමිවරුන්ගේ අවසරය ලබා ගැනීම වඩා යහපත් බව තමයි මගේ හැඟීම. අපි සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න වෙහෙසෙන්නේ පන්සල මූලීක කරගෙනයි. ලංකාවේ පන්සල් 11000 ක් තියෙනවා. මේ පන්සල්වලින් ගම්මාන 11000කට නායකත්වය දුන්නා නම් රට හැදිලා. ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනය භික්ෂුවට කැප නැහැ. ඒ නිසා අපි මේ ගම්මාන 11000 හදන්න උත්සහා කරමු. ගුණධර්ම ඇති සාදාචාර සම්පන්න ජාතියට ආදරය කරන දරු පිරිසක් නිර්මාණය කරන්න පුළුවන් පන්සල් මූලික කරගෙනයි.

සියලු වැරදි රජයට බැර කරන්න උත්සාහා කරන එක් එක් කණ්ඩායම් ඉන්නවා. රජය භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් විශාල වියදමක් කරනවා. භික්ෂුන්වහන්සේලාගේ නායකත්වය රජය පිළිගන්නවා. ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ භික්ෂුන්වහන්සේලා බෙදී සිටීමයි. ගොඩක් ගැටලුවලට හේතුව මේ භික්ෂුන්වහන්සේගේ බෙදීමයි.

බුදුන්ගේ ශ්‍රාවකයෝ ලෙස අපි එකට ඉන්නවා නම් ප්‍රශ්න නැහැ. අපිව පෝෂණය කරන්නේ ජනතාව. බෙදීම තුළින් අපේ විනාශය අපිම කරගෙන තියෙනවා. නීතියට භික්ෂුව අනුගත වෙන්න කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. නීතීය කාටත් එකයි. සියලු දේ දේශපාලන අරමුණුවලට ගැනීම වැරදියි. සියලු දේට රජයට චෝදනා නොකර අපේ වැරදි අපි හදාගන්න ඕන. ඒ සඳහා ශාසනභාරධාරි මහා ථෙරවරු භික්ෂුව මෙහෙයවන්න ඕන.

සාමනේරවහන්සේලා තරුණ කාලේ නොයෙකුත් දේවල් කරනවා. අපි ඒ ගැන අවධානය යොමුකරලා සංඝ සමාජය ආරක්ෂා කරගත්තේ නැත්නම් අනාගතයේ මේ රටේ බෞද්ධ සංස්කෘතිය නැති වෙනවා. එහෙම වුණොත් මීට වඩා අශීලාචාර සමාජයක් ගොඩනැගෙයි. ඒ නිසා අපි මේ තරුණ සමාජයට යහපත් රටක් ගොඩනගන්න නායකත්වය ගන්න ඕන.

බලයේ සිටි සියලු රජයන් පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට සහය දක්වා තිබෙනවා. ඒක අපේ ව්‍යවස්ථාවේම තිබෙනවා. ඒ අනුව වර්තමාන රජයත් ඒ සියලු ප්‍රතිපාදන ලබා දෙනවා. විශ්වවිද්‍යාල 02 ක් විද්‍යා පීඨ 03 ක් හා පිරිවෙන් 824 ක් තියෙනවා. මේ සියල්ලට රජය විශාල වියදමක් කරනවා. යම් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැණින් අද සමාජ මාධ්‍ය මගින් අදාළ පුද්ගලයා වැරදිකරු බවට පත් කරනවා.”
Related recommendation
Hiru TV News | Programmes