General13 May 2026

ගමන් මලු දෙකක සඟවා කෝටි 4ක මත්ද්‍රව්‍ය තොගයක් ගෙනා ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ඊයේ (12) රාත්‍රී TG 307 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි මෙම සැකකරු, ගුවන් තොටුපළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ බවයි.

අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා එරට ව්‍යාපාරික ආයතන සේවකයෙක් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

සැකකරු සතුව තිබූ ගමන් මලු (Luggages) දෙකක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට නිලධාරීන් සමත් ව තිබුණා.

රේගු වාර්තාවලට අනුව එහි ග්‍රෑම් 4,389 ක බරින් යුත් මරිජුවානා (ගංජා) සහ හෂීස් අඩංගු වී තිබු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් හතළිස් තුන් මිලියන අටලක්ෂ අනූදහසක් (රු. 43,890,000/-) පමණ වන බවයි රේගුව සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව, සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට කටයුතු කර ඇතැයි ද ‍ශ්‍රී ලංකා රේගුව පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes