General13 May 2026

පොළොන්නරුව දේශීය ආදායම් කාර්යාල සේවකයෙක් අල්ලස් දැලේ

ඉඩමක වටිනාකම අඩුවෙන් පෙන්වා තක්සේරු වාර්තාවක් සකසා දීම සඳහා රුපියල් 35,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පොළොන්නරුව දේශීය ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සේවකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ එම කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක්.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස් කර ගැනීමේදී, එහි තක්සේරු වටිනාකම අඩුවෙන් සඳහන් කර මුද්දර ගාස්තු අඩු කර දීම සඳහා සැකකරු මෙලෙස මුදල් ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම පවසනවා.

ඒ වෙනුවෙන් සැකකරු විසින් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර, පසුව එය රුපියල් 35,000 දක්වා අඩු කර ලබා ගැනීමට එකඟ වී ඇතැයි ද වාර්තා වෙනවා.

අදාල මුදල ලබාගන්නා අවස්ථාවේදී පොළොන්නරුව දේශීය ආදායම් දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී අද (13) අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි එම කොමිසම පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes