International27 May 2026

ඒබ්‍රහම් ගිවිසුමට එකඟ වීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි!

පාකිස්ථාන මාධ්‍ය වාර්තාවලට අනුව, එරට "මූලික මතවාදයන්ට" පටහැනි කිසිදු ගිවිසුමකට පාකිස්ථාන රජය සහය නොදක්වන බව ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි ඒබ්‍රහම් ගිවිසුමට සම්බන්ධ වීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සහ ඉඟිකිරීම් හමුවේ පාකිස්ථානය ඒබ්‍රහම් ගිවිසුමට සම්බන්ධ වීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව, Samaa TV නම් පාකිස්ථාන නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අසීෆ්ගෙන් මේ පිළිබඳ විමසා තිබුණා.

එහිදී අමාත්‍යවරයා පවසා තිබුණේ "පුද්ගලිකව මම හිතන්නේ නැහැ අපේ මූලික මතවාදයන් සමඟ ගැටෙන මෙවැනි කිසිදු ගිවිසුමකට අප එකතු විය යුතුයි කියලා. එක දවසක්වත් විශ්වාස කළ නොහැකි මිනිසුන් පිරිසක් සමග ඔබ කොහොමද එකට වාඩි වෙන්නේ? අපිට මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. මෙය අපට කිසිසේත්ම පිළිගත නොහැකියි." යනුවෙන්.

ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කිරීමේ විශ්වාසනීයත්වය ප්‍රශ්න කරමින් ආරක්ෂක අමාත්‍යවරයා එලෙස පවසා සිටියා.

ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගැනීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දෙමින්, එරට විදේශ ගමන් බලපත්‍ර ප්‍රතිපත්තිය පිළිබඳවද අසීෆ් මෙහිදී මතක් කර දුන්නා.

"දෙවැනි කාරණය තමයි, අපේ විදේශ ගමන් බලපත්‍රවල ඊශ්‍රායලය කියන නමවත් සඳහන් නොවන එකම රට අපියි."

මීට පෙර, ඉරානය සමග ඇති කරගත හැකි සාම ගිවිසුමකට සමගාමීව, පුළුල් කලාපීය ගැටුම් විසඳීමේ පියවරක් ලෙස ඒබ්‍රහම් ගිවිසුමට සම්බන්ධ වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් සහ අරාබි රටවල් කිහිපයකින්ම ඉල්ලා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes