General03 June 2026

ඔස්ට්‍රේලියාවෙත් - නවසීලන්තයේත් ඉහළම ගෞරවනීය තනතුරක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් හිමි කර ගනී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන Royal Australasian College of Physicians (RACP) හි අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රවීණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය තිස්ස විජේරත්න වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබෙනවා.

මෙල්බන්හි Weste Health ආයතනයේ ස්නායු රෝග හා අංශභාග ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු, මැයි 29 දා පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල සහාය ලබා ගනිමින් මෙම ගෞරවනීය තනතුරට පත්වූ බවයි වාර්තා වන්නේ.

දිගු ඉතිහාසයක් සහිත RACP ආයතනය වෛද්‍ය වෘත්තීය ප්‍රමිතීන්, සෞඛ්‍ය ප්‍රතිපත්ති, වෛද්‍ය අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ ප්‍රධාන නායකත්වයක් ලබාදෙන ආයතනයක් ලෙස සැලකෙනවා.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඕනෑම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට හිමිවිය හැකි ඉහළම ගෞරවයන්ගෙන් එකක් ලෙසයි පිළිගැනෙන්නේ.

ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සිය අධ්‍යාපන ගමන ආරම්භ කළ මහාචාර්ය විජේරත්න මහතා වසර 20කට අධික කාලයක් පුරා ඔස්ට්‍රේලියාවේ ස්නායු රෝග, අංශභාග, හිසරදය, පාකින්සන් රෝගය සහ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශාල සේවයක් ඉටු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes