General04 June 2026

ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි

මෙවර වෙසක් පෝ දිනය වෙනුවෙනුත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාව හරහා අප්‍රමාණ කුසලයක් අත්කර ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කළ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ඊයේ (03) වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩම කරවනු ලැබුවා.

ඊයේ දිනයේත් එම ගමන් මාර්ගය අතරතුර අති විශාල සැදැහැවතුන් පිරිසකට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ඇරඹුණු හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන යටතේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනා කිරීම මෙවර සිදු කෙරුණේ ඓතිහාසික මහියංගන පුදබිමේදීයි.

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් හිරු උත්තම ධාතු වන්දනාවට එක්වී ජීවමාන බුදුන් වැඳපුදා ගැනීමට සමාන පුණ්‍යකර්මයක නිරත වුණා.

දින දෙකක් පුරා ඓතිහාසික මහිංයංගනය පුණ්‍ය භුමියේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීම ආරම්භ වුණේ පෙරේදා පෙරවරුවේයි.

පෙරේදා රැය පහන් වනතුරු පැල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ ඊයේ උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුව පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානය දක්වා ගමන් ආරම්භ කළා.

ධාතූන් වහන්සේ වැඩම කරවන අතරතුර මග දෙපස රැස්ව සිටි සැදැහැවතුන්ට වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේදී ද සැදැහැවතුන් විශාල පිරිසකට ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වුණා.

ඊයේ පස්වරුවේ සර්වඥ ධාතූන් වහන්සේ රත්නපුර නගරය දක්වා වැඩම කරවූයේද මග දෙපස රැඳී සිටි සුවහසක් සැදැහැවතුන්ගේ වන්දනා බුහුමනට පාත්‍ර වෙමින්.

මෙලෙස දින ගණනාවක් පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවට මහඟු පුණ්‍ය කර්මයකට සහභාගි වීමට අවස්ථාව සලසා දුන් මෙවර හිරු උත්තම ධාතු වන්දනාව සම්පූර්ණ කරමින් සර්වඥ ධාතූන් වහන්සේ රත්නපුර නගරයේ සිට වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය දක්වා ගමන් ආරම්භ කළා.

දින ගණනාවක් පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවට මහඟු පුණ්‍ය කර්මයකට සහභාගි වීමට අවස්ථාව සලසා දුන් හිරු උත්තම ධාතු වන්දනාව අවසන් කෙරුණේ සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත නැවත වැඩම කරවීමෙන් අනතුරුවයි.

ඓතිහාසික මහියංගනය සෑ රදුන් ෂඩ් වර්ණ ආලෝකයෙන් බබලවමින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පුරවාලීමෙන් අනතුරුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ එම පින්බිමේදීම දැක වැඳපුදාගැනීමේ දුර්ලභ භාග්‍යය ද හිමිකර දුන් මෙවර හිරු උත්තම ධාතු වන්දනාවේ ඒකායන අරමුණ සම්බුද්ධ ශාසනය තවත් සුවහසක් කල් නොනැසී පැවතීමයි.
Related recommendation
Hiru TV News | Programmes