International04 June 2026

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ජූනි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

නවදිල්ලිය විසින් වෙනිසියුලාවෙන් ලබාගන්නා බොර තෙල් ආනයනය ඉහළ නංවා ඇති වටපිටාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, පසුගිය මැයි මාසයේදී වෙනිසියුලානු තෙල් වැඩිම ප්‍රමාණයක් ආනයනය කළ ලොව දෙවැනි විශාලතම රට බවට පත්වූයේ ඉන්දියාවයි.

එහිදී ඉන්දියාව දිනකට බොර තෙල් බැරල් 427,000 බැගින් මිලදී ගෙන ඇති අතර, එම ලැයිස්තුවේ පළමු ස්ථානය පසුවන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.

විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන 'රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්' සමාගම මෑත මාසවලදී වෙනිසියුලානු බොර තෙල් මිලදී ගන්නා ප්‍රධානතම ගැනුම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්ව තිබෙනවා.

මෙම සංචාරය අතරතුරදී රොඩ්රිගස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නිල සාකච්ඡා පවත්වන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී තහවුරු කළා.

මෙම සාකච්ඡාවලදී ඉන්දීය - වෙනිසියුලා සබඳතාවල සමස්ත පරාසයම ආවරණය වන බවත් විශේෂයෙන්ම බලශක්ති, වෙළඳ, ආයෝජන, ඖෂධ නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රයන්හි ඉදිරි සහයෝගීතාව පුළුල් කරගත හැකි මාර්ග පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු ක‍රනු ඇති බවත් එහිදී ඔහු පැවසුවා.

මීට අමතරව, ඇය ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හිදී එරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවීමට ද නියමිත බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes