වෙසක් සඳ පායා මැකී යාමටත් මත්තෙන් අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය දෙසින් ඇසුනේ හද කම්පා කරවන විලාප හඩක්.
ඒ එම නිවාසය ගින්නකට හසුවු නිසයි. ඊයේ (03) සවස 5ත් 6ත් අතර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා.
එම නිවාසයේ මානසික ආබාධ සහිත විවිධ වයස්වල කාන්තා හා පිරිමි පුද්ගලයින් 72ක් පමණ සිට ඇතැයි මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මෙම පිරිස රැකබලා ගැනීමට පලනාධිකාරිය පස් දෙනෙකු සිට ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
තුවාල ලැබූවන් යුහුසුළුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු සහන කණ්ඩායම් එකතුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර 51දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන එම නිවාසය ඉදිරිපිට ඇති බටගොඩ ප්‍රාථමික විද්‍යාලීය ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබූණා. ඒ යුද හමුදාවේ බස් රථවලින්. තවත් කොටසක් බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයටත් රැගෙන ගියා.
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ මෙම සිද්ධිය මුලින්ම දුටු ප්රදේශවාසියෙක් පැවසුවේ මෙවැන්නක්.
“අපි කළින් දවසේ මේ නිවාසෙට 72 දෙනෙක් සඳහා දානයක් ගෙනාවා. සිද්ධිය වෙද්දි මං මෙතනට එද්දිත් ගින්න පටන් අරන් විනාඩි 05ක් 10ක් විතර ගතවෙලා. ඉස්සරහ සේරම යතුරු දාලා දොර ජනෙල් වහලා තිබුණේ.
ඉස්සරහම දඟල දගල එක්කෙනෙක් කෑගගහ හිටියා. මේ නිවාසයෙ බිමට මෙට්ට දාල තමයි මේ අය ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මිනිස්සු මරලතෝනි තියන සද්දේ තාමත් කන්දෙකේ ඇහෙනවා වගේ.
ඇවිදින්න බැරි තුන්දෙනෙකුත් හිටියා ඉස්සරහම. මගෙ කෑගැහිල්ලට අවට අයත් ආවා. අපි පිටිපස්ස පැත්තෙන් ගිහින් හරිම අමාරුවෙන් තමයි හත් අට දෙනෙක් බේරගත්තේ. ඒ වෙනකොටත් කිට්ටු වෙන්නත් බැරි තරම් ගින්දර ඇවිලෙනවා. අපි බේරගෙන මිදුලට ගෙනාව එක අම්මා කෙනෙක් අනේ මගේ මාලේ ගේ ඇතුලේ වැටිලා කියලා ආපහු ගේ ඇතුළට දුවලා ගියා. එයත් ඉතින් මාලේ හින්දා පිච්චිලා ගියා. ගෑස් එකත් පස්සේ පුපුරලා තිබුණා.”
මෙම සිද්ධියෙන් මියගිය 25 හැවිරිදි තරුණියක් වන ධනුෂ්කි ශශී බබාගේ ඥාතියකු පැවසුවේ මෙවැන්නක්.
“අපි අම්බලන්ගොඩ. facebook එකේ තියෙනවා දැකලා තමයි අපේ අක්කගේ දුවව මෙහාට බාර දුන්නෙ. අක්කා රට ගිය හින්දා. මාසෙට තිස්පන්දාහක් අපි ගෙවනවා මෙහාට. අමතරව බෙහෙත් ගන්න කියලා කියන කියන වෙලාවට විසි තිස් දාහක් කියන කියන ගණන් දෙන්න ඕනෑ. අපි එයාව බලන්න එනවා නම් එයාලට කළින් දැනුම් දීලා අවසර අරන් එන්න ඕනෑ. එතකොට හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙනවා. නැත්නම් අනිත් දවසට කිසි පිරිසිදුකමක් නෑ. දංවැල් දාලා බැඳලා තියනවා. මේගොල්ලෝ කරන්නෙ බැරි අයව පැත්තකටම දාලා තියලා ටිකක් කතාබහ කරන්න ඇවිදින්න පුළුවන් අයව එළියට අරගෙන වීඩියෝ කර කර ෆේස්බුක් දාලා හම්බ කරන එකයි.”
සිද්ධිය වෙන අවස්ථාවේ මෙම ආයතනයේ පාලකයන් නොසිටි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් ඇති දෙමහල් නිවෙසක ඔවුන් රැදී සිටින බවයි.
මීට අමතරව වෛද්‍යවරයෙක්, හෙදියක්, ගිලන් රථයක් ඇතුළු මානසික රෝගීන්ට රැකවරණය ලබාදෙන මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කිසිදු පහසුකමක් මෙම ආයතනය තුළ නොමැති බවද ප්‍රදේශවාසීන් පවසන්නේ දැඩි කෝපයෙන්.
ගින්න පැවති අවස්ථාවේ හොරණ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙක පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර කර ජලය මදි වී නැවත රැගෙන ඒමට යෑම නිසා ප්‍රමාද වූ බවද ප්‍රදේශවාසීන් පවසනවා.
තරුණ පිරිස් දුම් කවුළුව උඩට නැග මහත් පරිශ්‍රමයක් දරා ජල බටවලින් ගින්නන නිවීමට උත්සහ කර ඇති අතර රාත්‍රී දහයට පමණ වන තුරුම ගින්න මැඩ පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරා තිබෙන බව අනාවරණය වෙනවා.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලට තුවාලකරුවන් අට දෙනකු රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ගිනිගත් නිවෙසේ තිබී මළ සිරුරු දහයක් සොයාගෙන ඇති අතර ඉන් නවයක් කාන්තාවන් ද එක් අයෙකු පිරිමියෙකු බව ද පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් ගිනිගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව ආරක්ෂක අංශ පවසයි. මෙම නිවාසයේ සිටි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එක් වැඩිහිටි කාන්තාවක් වෙනම කුටියක රඳවාගෙන මේ වන විට ඇඟෙන් සිද්ධිය පිළිබඳ කට උත්තර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.
මේ වන විට මේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති ඥාතීන් අදාළ පාලනාධිකාරියේ නිලධාරීන් සමග තර්ක කරමින් සිටින්නේ තමන්ගේ තමන්ගේ ඥාති සහෝදරයා දියණිය මිය ගියාද නැද්ද නිශ්චිතව තහවුරු කර ගැනීමක් සිදු කර නොමැති බැවින්.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර මළ සිරුරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළා.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළ අතර පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්,රස පරීක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනවා.
Latest News
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
Local
04 June 2026
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026
නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය දින 3කට සීමාකරයි
Local
04 June 2026
"අපි බේරගත්ත අම්මා කෙනෙක් මාලයට තිබුණු ආසාවට ආයෙමත් ගින්නට දිව්වා. එයත් ඉවරයි” - බටගොඩ මාපිය සෙවණේ ගින්නේ නෑසුනු කතාවක්
Local
04 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79 කින් පහළට
Local
04 June 2026
සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්
Local
04 June 2026
ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි
Local
04 June 2026
වාද්දුවේදී ලොරියක් දුම්රියේ ගැටී ලොරි රියැදුරු රෝහලට
Local
04 June 2026
අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළට - එහි අධ්යක්ෂවරයා අත්අඩංගුවට
Local
04 June 2026