General04 June 2026

හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට

හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී ඊයේ (03) පස්වරුවේ රුපියල් කෝටි තුනහමාරක (රු. 35,000,000) මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඊයේ පස්වරු 02.50 ත් 02.55 ත් අතර කෙටි කාලය තුළදී මෙම සූක්ෂ්ම කොල්ලය සිදුවී ඇති අතර, බැංකුවේ සහකාර කළමනාකරු විසින් වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් වෙත රැගෙන යාම සඳහා සකස් කළ මුදල් මලු, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ බැංකුවෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු ඔහු වහාම ක්‍රියාත්මක වී බැංකු පරිශ්‍රයෙන් පිටත පරීක්ෂා කර ඇතත්, කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, බැංකු කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳව වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් 5000 නෝට්ටු වලින් සමන්විත රුපියල් මිලියන 35ක් අඩංගු, අදාළ රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති මලු දෙකක් මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් අනතුරුව මුදල් මලු භාරව සිටි සහකාර කළමනාකරු පොලිස් භාරයට ගෙන ඇති අතර, සහකාර කළමනාකරු සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ සී.සී.ටී.වී (CCTV) කැමරාවල සටහන්ව තිබුණද, බැංකුවෙන් පිටවන දොර අසල ප්‍රදේශය ආවරණය වන පරිදි කැමරා සවිකර නොතිබීම විමර්ශනවලට බාධාවක් වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes