General06 June 2026

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ජූනි මස 05 වැනිදා ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මඟින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි.

එමෙන්ම, මාධ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනය සතුයි.

මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත ආයතනයේ ප්‍රධානතම අරමුණු ලෙස, සුදුසුකම් ලත් මාධ්‍ය වෘත්තිකයන් ආයතනය වෙත බඳවා ගැනීම, ඔවුන්ගේ කුසලතා සහ පුහුණුවීම් තවදුරටත් වර්ධනය කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම, විශේෂ ආචාර ධර්ම පද්ධතියක් මඟින් වෘත්තීය විනය පවත්වාගෙන යාම, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත්.

යෝජිත ආයතනයේ පරිපාලන කටයුතු මාධ්‍ය ක්ෂේත්‍රයේ තේරී පත්වූ සහ පත් කරන ලද සාමාජිකයන්ගෙන් සැදුම්ලත් 'පාලන සභාවක්' (Goveing Council) මඟින් මෙහෙයවනු ලබන අතර, එවැනි ස්ථිර පාලන සභාවක් පිහිටුවන තෙක්, ආයතනයේ ආරම්භක කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන 'අතුරු පාලන සභාවක්' (Interim Council) ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පත මඟින් මාධ්‍ය වෘත්තිකයන් යන නිර්වචනයට පුළුල් පරාසයක පිරිසක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, ප්‍රකාශකයන්, විකාශකයන්, පුවත් ඉදිරිපත් කරන්නන් (Anchors/Presenters), මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍ය අධ්‍යාපනඥයින්, පර්යේෂකයන්, තාක්ෂණික ශිල්පීන්, අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators), අන්තර්ගත සංස්කාරකවරුන් කැමරා ශිල්පීන්, සහ ඡායාරූප ශිල්පීන් ඇතුළු පිරිසක් ඇතුළත්.

එම පනත් කෙටුම්පත මෙතැනින් බලන්න (Click)
Related recommendation
Hiru TV News | Programmes