General10 June 2026

චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට

චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය - 2026 සඳහා සහභාගි වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ චීනය බලා පිටත්ව ගොස් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදෙනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අමාත්‍යවරයා සමඟ වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා ඇතුළු පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටින බවයි.

චීනයේ, කුන්මිං නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී හෙට (11) ආරම්‍භ වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ලබන 16 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයටම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ලැබෙන වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ලෝකයේ රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනය සඳහා මෙවර ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් එක් වන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

මෙහිදී සහභාගී වන ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ප්‍රදර්ශන කුටි පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයක්.

ලොව දෙවන විශාලතම ආනයන වෙළෙඳපොළක් සහිත චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශවීමට සහ එරට ගැනුම්කරුවන් හඳුනා ගැනීමට මේ හරහා ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර හා ඇඟලුම් වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට මෙමගින් මංපෙත් විවර වනු ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික සන්නාම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කෙරෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී, මෙවර ප්‍රථම වරට ධීවර නිෂ්පාදන සහිත කුටියක් ඇතුළත් කර තිබීම සුවිශේෂී කරුණක් බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes