General15 June 2026

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - ප්‍රකට ගායක ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ රිඕ ද ජැනයිරෝ නුවර Recreio dos Bandeirantes ප්‍රදේශයේදී සිදුවූ දරුණු හෙලිකොප්ටර් අනතුරකින් ලෝක ප්‍රකට ඇමෙරිකානු ඉලෙක්ට්‍රෝ-පොප් ගායක ඔලිවර් ට්‍රී (Oliver Tree) සහ ආර්ජන්ටිනා ජාතික සුප්‍රසිද්ධ යූටියුබ් ක්‍රියාකාරිකයෙකු වන ගැස්පි (Gaspi) ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (14) උදෑසන 9:00 ට පමණ අහසේදී මෙම හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටී ඇති අතර, අනතුරින් පසු එක් යානයක් අසල පිහිටි BYD මෝටර් රථ අලෙවිසැලක රථ ගාලක් මතට කඩා වැටී ඇති බව සඳහන්.

යානය කඩා වැටීමත් සමඟ එහි නවතා තිබූ වාහන20කට ආසන්න ප්‍රමාණයක ගින්නක් හටගෙන ඇති අතර, මිලිටරි ගිනි නිවන බලකාය දැඩි උත්සාහයකින් පසු ගින්න පාලනය කර තිබෙනවා.

ගුවන් සේවා බලධාරීන් නිකුත් කළ මගී නාමලේඛනයට අනුව, එක් හෙලිකොප්ටර් යානයක නියමුවා ඇතුළු පස් දෙනෙකු ගමන් කර ඇති අතර අනෙක් යානයේ සිට ඇත්තේ එහි නියමුවා පමණයි.

අනතුරින් යානා දෙකෙහිම සිටි සියලු දෙනාම මියගොස් ඇති බවයි බලධාරීන් තහවුරු කළා.

මියයන විට 32 වැනි වියේ පසු වූ ඔලිවර් ට්‍රී, 'Life Goes On' සහ 'Miss You' වැනි ජනප්‍රිය ගීත හරහා ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයන් පිරිසක් දිනාගත් කලාකරුවෙක්.

ඔහු සිය නවතම සංගීත ඇල්බමය ප්‍රවර්ධනය කිරීමේ ලෝක සංචාරයක් සඳහා බ්‍රසීලයට පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes