General16 June 2026

රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9ක් එක්ක අත්අඩංගුවට

කටාන පොලිස් වසමට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ද සමඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ මහා පරිමාණ රන්මාල කොල්ලකෑම් සහ දේපළ සොරකම් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවට හෙළිවූ බව කටාන පොලිසිය පවසනවා.

කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 10 වැනිදා සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සහ මිලිග්‍රෑම් 210ක් ද සමඟින්.

අනතුරුව සැකකරු මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ජූනි 16 වැනිදා (අද) දක්වා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරු මීරිගම, කිතුල්වල ඉහල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු කාලයක සිට පොලිස් වසම් රැසක භීෂණයක් මවමින් රන්මාල සහ දේපළ කොල්ලකෑම් සිදු කළ අයෙක් බවයි.

පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල සහ පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මෙම සැකකරු සෙලෙස රන්මාල කොල්ලකා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙම අපරාධ රැල්ල සඳහා සැකකරු විසින් භාවිත කරන ලද යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන්මාල උණුකර සකස් කරන ලද රන්ගුලි 09ක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද (16) යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes