General16 June 2026

"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට රජය දරන උත්සාහය ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් දැඩි සේ හෙළා දැක තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින්ගේ හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව එම සංවිධානය අවධාරණය කරනවා.

එවැනි පසුබිමක, දේශපාලනඥයින් නිහඬ කිරීම සඳහා පොලිස් බලය මෙලෙස යොදාගැනීම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ.

මෙය පොලිස් රාජ්‍යයක පෙරමඟ සලකුණු පෙන්නුම් කරන්නක් බව පවසන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූ බවට දිවුරුම් ප්‍රකාශයකින් පිළිගෙන ඇති පොලිස් නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත CID අධ්‍යක්ෂ ධූරයට සහ ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධූරයට පත් කර ඇති බවට චෝදනා කරනවා.

එවැනි දේශපාලනීකරණය වූ නිලධාරීන් හරහා රජය විවේචනය කරන පුද්ගලයන් අසහනයට පත් කර ගොළු කිරීමට විවිධ උපක්‍රම භාවිත වන බවද එහි සඳහන්.

භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) වගන්තියෙන් සහ හෘද සාක්ෂියේ නිදහස 10 වැනි වගන්තියෙන් සහතික කර ඇති බැවින්, පක්ෂග්‍රාහී පොලිස් ක්‍රියාකාරකම් මඟින් ඒවා විනාශ කළ නොහැකි බව පෙන්වා දෙන එම සංවිධානය, නිදහස් අදහස් දැක්වීම් වැළැක්වීමට පොලිසිය දරන උත්සාහය පරාජය කළ යුතු බවද අවධාරණය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes