General16 June 2026

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුත් ආරක්ෂක සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

ඉන්දීය රජයේ විශේෂ ආධාරයක් වශයෙන් ලබාදුන් මෙම උපකරණ තොගය, අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත (විශ්‍රාමික) වෙත නිල වශයෙන් භාරදෙනු ලැබූ බවද යුද හමුදාව පවසනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ද එක්ව සිටියා.

මෙහිදී උත්සව සභාව ඇමතූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ, මෙම පරිත්‍යාගය දෙරටේ සන්නද්ධ හමුදා අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාවයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් බවයි.

පුහුණු අවස්ථා සහ මානුෂීය ආධාරවලින් ඔබ්බට ගොස් ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ හමුදා උපකරණ සැපයීම දක්වා දෙරටේ ආරක්ෂක සහයෝගීතාව මේ වන විට ව්‍යාප්ත වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නා.

එමෙන්ම, “සාගර් බන්ධු” මෙහෙයුම යටතේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් කඩිනමින් ලබාදුන් මානුෂීය සහයෝගය ද මෙහිදී සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, එහිදී සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම්, වෛද්‍ය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් සිදු කළ ආකාරය ද අගය කළා.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියාකොන්ත සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කරන බවයි.

අභියෝගාත්මක අවස්ථාවන්හිදී, ස්වභාවික ආපදා, ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලීන්, හැකියාවන් සංවර්ධනය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට සැමදා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩ සහයෝගය ලබාදී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

මෙම නිල උපකරණ භාරදීමේ අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes