General19 June 2026

තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්

තෙල්දෙණිය මූලික රෝහල අසළ රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටිනවා.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ තෙල්දෙණිය මූලික රෝහලේදී සිදු කෙරුණේ, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ අධීක්ෂණයෙන්.

එහිදී විවෘත තීරණයක් ලබා දෙමින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

මේ වන විට මෙම භෞත චිකිත්සකවරියගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමුවී තිබුණේ, පෙරේදා පස්වරුවේදීයි. 34 හැවිරිදි ඇය වැලිගම, කුරුඳු කොරටුව, ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඇයගේ ගෙල ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර, මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඇගේ පෙම්වතා සෙවීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයා ජංගම දුරකතන කිහිපයක් භාවිත කර ඇති බවයි.

එමෙන්ම, මහනුවර, මාතලේ, කුණ්ඩසාලේ සහ ගන්නෝරුව යන ප්‍රදේශවල ඔහු වැඩි වශයෙන් කාලය ගතකර ඇති බව සදහන්.

මියගිය භෞතචිකිත්සකවරිය, සිය පෙම්වතා බව කියන පුද්ගලයා සමඟ පසුගිය 3 වැනිදා සිට 16 වනදා දක්වා නුවරඑළියේ නවාතැන්පොළක රැදී සිට තිබෙනවා.

පසුව පෙම්වතා එම කාන්තාවගේ සිරුර 16 වනදා රාත්‍රියේ මෝටර් රථයක දමා පෙරේදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඇය ඔසවාගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටි.වී දර්ශන ද මේ වනවිට නිකුත් වී තිබෙනවා.

සිරුර රථගාලේ තබා ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණේ ද පෙම්වතා බව පැවසෙන පුද්ගලයා විසින් බවටයි පොලිසිය පවසන්නේ.

මේ අතර මියගිය භෞතචිකිත්සකවරිය සම්බන්ධයෙන් අම්පාර මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විඡේවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, 2023 වසරේ සිට එම රෝහලේ සේවය කළ ඇය මීට මාසයකට පමණ පෙර රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බවයි.

එසේම, මෙම භෞතචිකිත්සකවරිය කැනඩාවට යාමේ සැලසුමකින් පසු වී ඇති අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් ණයට ලබා ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, කැනඩාවට යාමට නොහැකි වීම සහ ණය මුදල් ආපසු ගෙවා ගැනීමට නොහැකිව නිසා ඇය දැඩි මානසික පීඩනයෙන් සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes