General19 June 2026

දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000) ආසන්න මුදලක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න නම් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයායි.

අද පෙරවරු 09.55ට පමණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ව්‍යාජ ප්‍රති ඇණවුමක් හරහා ඒවා ලබාගෙන තිබීම හේතුවෙන් රුපියල් 14,300,000ක පමණ මුදලක් රජයට අහිමි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ඉදිරි කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes