General22 June 2026

වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි

ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊයේ (21) දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් 1,000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර තහවුරු කළේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීම වේගවත් වී ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලින් වන අතර, ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.

තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාවලට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින්, උණ රෝග ලක්ෂණ පවතී නම් ප්‍රවේශම් වන ලෙසත්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes