General23 June 2026

මහවත්තේ චාමර රිමාන්ඩ්

ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසු රැඳවුම් නියෝග මත සිටි, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන චාමර සම්පත් රුද්‍රිගු නොහොත් "මහවත්තේ චාමර" නමැත්තා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (23) නියෝග කළා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙම සැකකරුට එරෙහිව ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 4 අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවත්, ඒ සඳහා සැකකරුව එම අධිකරණයට යොමු කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසත් විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මෙලෙස තවත් නඩුවක් ගොනු කළ බව සඳහන් කළේය.
එසේම දැනට පවතින මෙම නඩුව අවසන් කර, අංක හතර අධිකරණයේ පවතින නඩුව වෙත සැකකරු යොමු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදී පනත යටතේ පවතින නඩුවක් එලෙස අවසන් කළ නොහැකි බවත්, ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ඒ පිළිබඳව සඳහන් නොවන බවත්ය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන බවයි.
පසුව, අදාල සිද්ධියට එම සැකකරු අංක 04 අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අවි ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව වෙනුවෙන් එම සැකකරුව ලබන ජූලි 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (23) නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes