General23 June 2026

ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අමෙරිකා රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදුවුණා.

රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගත්තා.

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් (General Kevin Schneider) විසින් ඊට අත්සන් තැබුවා.

මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇති.

මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර, එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති.

අමෙරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ ජූනි 01වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අමෙරිකා තානාපති කාර්යාලය නියෝජනය කරමින්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් Paul Kapur, අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මෙන්ම ආරක්ෂක උපදේශක ලෙෆ්ටිනන්ට් කර්නල් Matthew House ඇතුළු පිරිසක්ද එක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes