General05 July 2026

හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ

යුද වීරයන්ගේ පදක්කම් "යකඩ කැබැල්ලක්" ලෙස හඳුන්වමින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශ ශ්‍රී ලංකාවේ රණවිරුවන් කළ කැපකිරීම් සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාතර, කොටපොළ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සන්නද්ධ හමුදාවල සාමාජිකයින් දිනාගත් පදක්කම් මගින් ඔවුන්ගේ නිර්භීතකම, කැපකිරීම සහ සේවය නිරූපණය වන බැවින් ඒවාට ගෞරවයෙන් සැලකිය යුතු බවයි.

"රණවිරුවන් තමන්ගේ දරුවන්ට සහ මුනුපුරු මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්වන පදක්කමක්, හුදෙක් 'යකඩ කැබැල්ලක්' ලෙස හැඳින්වීම ලැජ්ජා සහගතයි," යැයි පැවසූ ඒ ඔහු, එවැනි ප්‍රකාශ මගින් හමුදා නිලධාරීන් කළ කැපකිරීම් නොසලකා හැර ඇති බවද සඳහන් කළා.

හිටපු ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් රජය රණවිරුවන්ට අගෞරව කරමින් සිටින බවට ද මෙහිදී චෝදනා කළ හෙතෙම සන්නද්ධ හමුදා සාමාජිකයින්ට හිමි ගෞරවය සහ පිළිගැනීම පළුදු කිරීමේ උත්සාහයක් පවතින්නේද යන්න පිළිබඳවද ප්‍රශ්න කර සිටියා.

ගොවීන්, උපාධිධාරීන් සහ ජීවන වියදම සම්බන්ධයෙන් බලපා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට රජයට නොහැකි වී ඇති බව සඳහන් කළ හෙතෙම, පසුගිය රජයන් විසින් ආරම්භ කරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබා ගැනීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවද පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes