General05 July 2026

යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි

හිටපු ට්‍රැෆික් ඕඅයිසී 06 තෙක් යළිත් රිමාන්ඩ්

යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී අස්ථානගතවූ ගිනිඅවිය යටියන්තොට පාලම අසල කැලණි ගගේ තිබී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකාර පොලිස් නිලධාරියා භාරයේ තිබූ මෙම ගිනිඅවිය පොලිස් නාවික කිමිදුම් කොට්ඨාසය විසින් යටියන්තොට පාලම අසල කැලණි ගගේ සිදු කරනු ලැබූ පරීක්ෂාවකදී අද (05) පෙරවරුවේ ‍එලෙස සොයා ගෙන තිබුණා.

මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් ජුනි මස 27 වැනිදායි. ඒ, සිය රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

මෙම නිලධාරියා ඉකුත් 26 වැනිදා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේදී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාර දී නොමැති බවට වාර්තා වුණා.
Related recommendation
Hiru TV News | Programmes