General07 July 2026

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කරන්න: බන්ධනාගාර නිලධාරි එකමුතුව ඉල්ලයි

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ කලහකාරී සිදුවීමේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ තම සහෝදර බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ (07) අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීමට පියවර ගන්නා ලෙස 'බන්ධනාගාර නිලධාරි එකමුතුව' බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

මෙම ප්‍රහාරය සියලුම බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් තරයේ හෙළා දකින බව ද සංගමය විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි.

මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත තමන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින බවත්, ගැටුමෙන් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් නිලධාරීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

පවුල් රැකබලා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් රාජකාරිය ඉටු කරමින් සිටියදී දිවි පිදූ තම සහෝදර නිලධාරීන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරි එකමුතුව කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම් මෙසේය:

ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් සත්දෙනාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීම.

මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අනාගතය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ රජය මැදිහත් වී පූර්ණ ලෙස රැක බලා ගැනීමට කටයුතු කිරීම.

කුඩු සහ පාතාල කල්ලිවල ප්‍රහාර හමුවේ නොසැලී රාජකාරිය ඉටු කරමින් සිටියදී මෙලෙස දිවිදුන් නිලධාරීන් වෙනුවෙන් මෙම සාධාරණ ඉල්ලීම් වහාම ඉටු කිරීම බලධාරීන්ගේ වගකීමක් බව ද එම සංගමය අවධාරණය කර සිටී.
Related recommendation
Hiru TV News | Programmes