Sports07 July 2026

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂපූර් සද්‍රාන් අභාවප්‍රාප්ත වෙයි

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ පුරෝගාමී වේගපන්දු යවන්නෙකු වූ ෂපූර් සද්‍රාන් (Shapoor Zadran) දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 38ක්.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) විසින් ඔහුගේ අභාවය පිළිබඳ නිල නිවේදනය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ප්‍රධානතම දායකත්වයක් සැපයූ ඔහු, දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් එක්දින (ODI) කඩුලු 43ක් සහ විස්සයි20 (T20I) කඩුලු 37ක් බිඳහෙලා තිබෙනවා.

ලෝක ක්‍රිකට් ලීග් (World Cricket League) තරගාවලි හරහා ඇෆ්ගනිස්ථානය ඉදිරියට රැගෙන යාමට සහය වූ ඔහු, 2015 වසරේදී ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය ලැබූ ඓතිහාසික ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණයේදී අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා.

එමෙන්ම එම ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 10ක් දවාගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ ද ඔහුයි.

2018 වසරේදී ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය ලැබෙන විට ෂපූර් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ අතර, ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2020 වසරේදීයි.
Related Recomands
Hiru TV News | Programmes