General07 July 2026

කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවේ සේවකයින් සිව්දෙනාට ඇප

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සුදු සීනි ටොන් 4250ක අධික ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින් , ඒවා වෙළඳපළට යැවීමට සූදානම් කළේ යැයි කියන කැලණියේ සීනි සමාගමේ සේවකයින් සිව්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.

පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන කඩිනම් කරන ලෙසට පාරිභෝගික අධිකාරියට නියෝග කළා.

අදාල සීනි තෝගයේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන තෙක් සීනි ගබඩාව සීල් තබන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සීනි ගබඩාවට ආරක්ෂාව සපයන ලෙසට පෑලියගොඩ පොලිසියට නියෝග කළා.

පාරිභෝගිකව අධිකාරී පනත ප්‍රකාරව පාරිභෝගික නිලධාරීන්ට සීනි ගබඩාවට සීල් තැබිය නොහැකි බැවින් සීනි ගබඩාවේ සීල් ඉවත් කරන ලෙසට සමාගමේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පාරිභෝජනයට නුසුදු ආහාර ද්‍රව්‍යයක් තිබෙන බැවින් ගබඩාවේ තහනම ඉවත් කිරීමට නොහැකි බව පෙන්වා දුන්නා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පෑලියගොඩ පෙතියාගොඩ ගබඩාවක මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් නිකුත් වූ සුදුසු සීනි තොග නැවත ඇසුරුම් කර වෙළඳපොළට යැවීමට සූදානම් වූ පුද්ගලික සමාගමක සැකකරුවන් සිව් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බවය.
Related recommendation
Hiru TV News | Programmes