General08 July 2026

පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් දැඩි අර්බුදයක

පාකිස්ථානය තුළ රැඳී සිටින ඇෆ්ගන් සංක්‍රමණිකයින්ගේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් සහ කනස්සල්ලක් මතුව ඇති පසුබිමක, එරට ආරක්ෂක අංශ විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් තවදුරටත් සිදු කරන බව ඇෆ්ගන් ජාතිකයෝ පවසනවා.

මෙම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා නිහඬව නොසිට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙස ඔවුහු සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටිනවා.

ඔවුන් පවසන්නේ පාකිස්ථානයේ, විශේෂයෙන්ම ඛයිබර් පක්තුන්ක්වා සහ පෙෂාවර් ඇතුළු අනෙකුත් නගරවල වෙසෙන ඇෆ්ගන් වැසියන්ගේ තත්ත්වය අතිශය දුෂ්කර වී තිබෙන බවයි.

පොලිසිය නිවාස වටලමින්, සෝදිසි කිරීම් සිදු කරමින් ඇෆ්ගන් ජාතිකයින්ව දිගින් දිගටම අත්අඩංගුවට ගනිමින් සිටින බව ද ඔවුහු පවසන්නේ.

දැනට සිදුවෙමින් පවතින බලහත්කාරී පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ මහලේකම්වරයා මීට පෙර අවධාරණය කළේ, අසල්වැසි රටවල සිටින ඇෆ්ගන් වැසියන් නැවත තම මව් රට බලා පැමිණීම ඔවුන්ගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් සිදුවිය යුත්තක් බවයි.

සංක්‍රමණික කටයුතු පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ඛාන් තාලිබි මොහොමඩ්සායි ප්‍රකාශ කළේ, මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ වත්මන් බලධාරීන්, පාකිස්ථාන රජය සහ සරණාගත සහන සංවිධාන අතර ඒකාබද්ධ සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි.

ලද ඇති දත්ත වාර්තාවලට අනුව, 2023 වසරේ සිට මේ දක්වා ඉරානයෙන් සහ පාකිස්ථානයෙන් ඇෆ්ගන් සංක්‍රමණිකයින් මිලියන 5.7කට ආසන්න පිරිසක් නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණ ඇති අතර, එයින් බහුතරයක් දෙනා බලහත්කාරයෙන් පිටුවහල් කරන ලද අය වෙනවා.

වලංගු වීසා බලපත්‍ර නොමැති ඇෆ්ගන් ජාතිකයින්ට රටින් පිටවීම සඳහා පාකිස්ථාන රජය විසින් ජූලි 10 වනදා දක්වා කල් දී ඇති අතර, එම කාලසීමාවෙන් පසුවත් මෙරට රැඳී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes