General09 July 2026

බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !

  • පැය 14ක මෙහෙයුමකින් පසු බද්ධ නිවුන් දරුවෝ වෙන් වෙති
  • එක වකුගඩුවක් බෙදාගෙන මේ නිවුන් දරුවන් වෙන් කෙරුණා

ශ්‍රෝණි මේඛලාවෙන් එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එක් දරුවකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරු කටයුතු කර තිබෙන අතර එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ ඇතුළු කණ්ඩායමක් විසින් ඉකුත් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මගින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් පිටතට ගෙන තිබෙන මෙම බද්ධ නිවුන් දරුවන් 2024 දී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්කර තිබුණා.

වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වට පත්වීමෙන් පසු දරුවන් වෙන් කිරිමේ සැත්කම සිදුකර තිබෙන්නේ ඉකුත් 10 වැනිදායි.

එදින සිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලද දරුවන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි බව මාතුල හෙට්ටිආරච්චි පැවසුවා.

බද්ධ වී සිටි නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම් මේ වනවිට මෙරට සිදු කර තිබෙන්නේ එකක් බවත් එක් දරුවෙකුගේ වකුගඩුවක් ගලවා ඉවත්කර අනෙක් දරුවාට බද්ධ කර ඔවුන් වෙන් කිරීමේ සැත්කමක් මෙතෙක් ලොව කිසිදු රටක සිදුකර නොමැති බවත් ඒ් මහතා ප්‍රකාශ කළා.

සිහි නැති කර මේ ආකාර බරපතල සැත්කමක් සිදු කිරීම සඳහා දරුවන් දෙදෙනාගේ බර ඊට සරිලන තත්ත්වයේ තිබීම වැදගත් බවත් උපතින් පසු වසර 05 ක කාලයක් යනතෙක් ඔවුන් වෙන් කිරීමේ සැත්කම නොකළේ ඒ නිසා බවත් හෙතෙම පැවසුවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ළමා වකුගඩු බද්ධ කිරීමේ 200 ක් පමණ මේ වනවිට සිදු කර තිබෙන බවත් මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට එම අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වූ බවත්ය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක අදහස් දක්වමින් මෙම දරුවන් සැත්කමට ලක් කිරීම සඳහා පෙරවරු 7.00 සිට රාත්‍රි 9.00 දක්වා දීර්ඝ කාලයක් සිහිනැති කර තබා ගත් බවත් ඔවුන්ගේ හෘද වස්තුව, පෙනහළු, රුධිර සංසරණ පද්ධතිය හා මොළය හොඳින් ක්‍රියා කිරීම සැත්කම සාර්ථක කර ගැනීමට පිටුබලයක් වූ බවත් ය.

යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ළමයෙකු වුවද සිහිනැති කර යළි සිහිය ගැනීම අභියෝගයක් බවත් එවැනි තත්ත්වයක් තිබියදී මෙම දරුවන් දෙදෙනා පැය 14 ක පමණ කාලයක් නිර්වින්දන තත්ත්වයෙන් තබා ගනිමින් සැත්කම සාර්ථකව සිදුකර යළි සිහිය ලබා ගැනීමට හැකිවූයේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සියලු පිරිස් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිපලයක් නිසා බවත් ඇය ප්‍රකාශ කළා.

සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මෙම දරුවන් දෙදෙනා සම්බන්ධ වී තිබුණු ශ්‍රෝණි මේඛලාවේ අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවත් කකුල් පිහිටා තිබුණේ හරස් අතට බවත් පැවසුවා.

හිසට සාපේක්ෂව පාද අංශක 90 ක ආකාරයට පිහිටා තිබීම නිසා පාදවලට යන ස්නායූ හා රුධිර ගමනාගමනයට හානියක් නොවන අයුරින් දරුවන් වෙන් කිරීම අභියෝගයක් වූ බවද ඔහු පැවසුවා.

මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකු ඇතුළු 30 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ වී තිබෙනවා.

එම දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන්ට තවත් සැත්කම් කිහිපයක් සිදු කිරීමට තිබෙන බවත් මාතුල හෙට්ටිආරච්චි පැවසුවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්ද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නනායක්කාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැලිය, නිර්වින්ද විශේෂඥ වෛද්‍ය කවිෂා දිසානායක මෙහිදී අදහස් දැක්වුවා.
Related recommendation
Hiru TV News | Programmes