General12 July 2026

ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය පසුගිය වසර තුනක කාලය තුළ නීතිඥ ගාස්තු වශයෙන් පමණක් රුපියල් ලක්ෂ 6,800 ක (රුපියල් මිලියන 680) අතිදැවැන්ත මුදලක් වැය කර ඇති බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරනවා.

බොහෝ පාසල් තම ක්‍රිකට් වැඩසටහන් පවත්වාගෙන යාමට නොහැකිව දැඩි ලෙස ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින සහ මෙරට ප්‍රමුඛ පෙළේ (First-Class) ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක්ම පැවැත්ම සඳහා සටන් කරමින් සිටි වටපිටාවක, මෙලෙස නීතිමය සටන් වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.

මෙම අනාවරණයත් සමඟ ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන ඇති අතර, ආයතනයේ මූල්‍ය ප්‍රමුඛතාවන් පිළිබඳව ද බරපතළ ප්‍රශ්න මතු වී ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

පුවත්පත් වාර්තාවට අනුව, මෙලෙස ලක්ෂ ගණනින් මුදල් නාස්ති කරමින් නඩු පවරා ඇත්තේ මාධ්‍යවේදීන්ට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහිව වීම විශේෂත්වයක්.

මෙලෙස පවරන ලද නඩුවලින් බහුතරයක් පසුව ආයතනය විසින්ම ඉල්ලා අස්කරගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

පිරිවැය පිළිබඳ කිසිදු තැකීමක් නොකර ක්‍රිකට් ආයතනය නඩු කටයුතු වෙනුවෙන් මුදල් වැය කර ඇති බවත්, සමහර අවස්ථාවලදී තනි නීතිඥයෙකු වෙනුවෙන් ගෙවා ඇති වාර්ෂික ගාස්තුව, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ශ්‍රී ලංකාවේ දක්ෂතම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ වාර්ෂික උපයීම් ද ඉක්මවා ගොස් ඇති බවත් එම පුවත්පත පෙන්වා දෙනවා.

එහිදී, 2023 වසරේදී පමණක් එක්තරා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ පන්සියයක (රුපියල් මිලියන 50) මුදලක් නීතිඥ ගාස්තු ලෙස ගෙවා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන්.

සාමාන්‍යයෙන් රූපවාහිනී විකාශන අයිතිය වැනි ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ගිවිසුම් සඳහා පමණක් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සම්බන්ධ කරගන්නා මුත්, මෙවර අපහාස නඩු වෙනුවෙන්ද මිලියන ගණනින් මුදල් නාස්ති කර ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බවයි එම පුවත්පත් වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes