General15 July 2026

දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ වසා දමා ඇති විහාර මළුවක, කුලී පදනම මත වෙළඳසැල් දෙකක පදිංචිව සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙම ගැටුමෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ ද බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි දඹුල්ල පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සුනිල් රත්නායක නමැති 53 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිස් පරීක්ෂණවලට අනුව, මොවුන් දිගු කලෙක සිට මෙම අත්හැර දමා ඇති කඩකාමර කුලියට ගෙන ජීවත් වන, අයවුල් වන අතර, දෙදෙනා අතර කලක පටන් ආරවුල් සිදුව තිබූ බවයි සඳහන් වන්නේ.

සිද්ධිය වූ දිනයේදී ද දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර කෑකෝ ගැසීම් පුරුෂ වචනයෙන් බැනගැනීම් සිදුව තිබෙනවා. එහිදී යාබද කඩකාමරයේ කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයා පැමිණ මෙම යුවළට පහරදී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි ව ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සැලවීමත් සමඟ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

පසුව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී එස්.එම්. චන්ද්‍රසිරි ඇතුළු පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී සිද්ධිය වූ ස්ථානයේ රැඳී සිටි සැකකරු පිළිබඳව ඇති වූ සැකයක් මත පොලිසිය ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes