General16 July 2026

ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්

කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මගින් අය කරනු ලබන විනෝද බදු (Entertainment Tax) සංශෝධනය කිරීමට පියවර ගත් බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පුරපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මගින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ බදු සංශෝධනයන් ඇතුළත් ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත්කර තිබෙනවා.

මෙම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයට දිරියක් ලබාදීම වෙනුවෙන් දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව පුරපතිනිය බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

"අපි ලබාදුන් මෙම බදු සහනය නිසා සංවිධායකයන්ට විශාල සහනයක් හිමිවෙනවා. එම සහනය සැලකිල්ලට ගෙන ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙස අපි සියලුම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට වැඩි ජනතාවකට කලා හා විනෝදාස්වාද අත්දැකීම් විඳගැනීමට අවස්ථාව ලැබෙනවා. කලා ක්ෂේත්‍රය දියුණු වීම මෙන්ම ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාදයක් ලැබීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි," යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes