International17 July 2026

ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රසිද්ධ රැස්වීම්වලදී ප්‍රකාශ කිරීමට නියමිත කතා ඇතුළත් ලේඛන කල්තියා කියවීමේ රහසිගත අවස්ථාව (Insider Knowledge) අවභාවිත කරමින්, අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ වෙළඳපොළක් හරහා ඩොලර් 100,000කට වඩා (රුපියල් ලක්ෂ 300කට අධික) මුදලක් උපයා ගත් බව කියන ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ටෙලිප්‍රොම්ප්ටර් (Teleprompter) ක්‍රියාකරුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

ගේබ්‍රියෙල් පෙරෙස් (Gabriel Perez) නැමති මෙම තාක්ෂණික සහායකයා 2016 වසරේ සිට ජනාධිපති ට්‍රම්ප්ගේ ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරු ලෙස කටයුතු කර ඇති අයෙක්.

ට්‍රම්ප් සිය කතාවලදී පවසන නිශ්චිත වචන, වාක්‍ය ඛණ්ඩ හෝ මාතෘකා පිළිබඳව ඔට්ටු තැබිය හැකි ‘කල්ෂි’ (Kalshi) නැමති අනාවැකි පළ කිරීමේ අන්තර්ජාල වෙළඳපොළ (Prediction Market) හරහා ඔහු මෙම සැකකටයුතු ගනුදෙනු සිදු කර ඇති බව අමෙරිකානු වෙළඳ භාණ්ඩ අනාගත වෙළඳ කොමිසම (CFTC) සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

කල්ෂි ආයතනයේ ආරක්ෂක අංශ විසින් මෙම අසාමාන්‍ය ඔට්ටු ඇල්ලීම් රටාව හඳුනාගෙන නියාමන බලධාරීන්ට දැනුම් දීමෙන් පසුවයි මෙම වංචාව හෙළි වී ඇත්තේ.

මෙම සිදුවීම වාර්තා වීමත් සමග ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ගේබ්‍රියෙල් පෙරෙස්ව වැටුප් රහිත අනිවාර්ය නිවාඩු (Unpaid Administrative Leave) ගැන්වීමට පියවර ගත් බවයි.

ජනාධිපති ට්‍රම්ප් මෙම ක්‍රියාව දැඩි ලෙස පිළිකුල් සහගත "ලැජ්ජා නැති ක්‍රියාවක්" (Disgrace) ලෙස හඳුන්වා ඇති අතර, පෙරෙස්ට එරෙහිව මෙම පියවර ගැනීමට සෘජුවම තීරණය කර ඇත්තේ ද ජනාධිපතිවරයා විසින්ම බව මාධ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරයාගේ කතාවල අවසාන සංස්කරණයන් සහ වෙනස්කම් පිළිබඳව පෙරෙස්ට පැහැදිලි අවබෝධයක් තිබූ නමුත්, ට්‍රම්ප් නිතරම සිය සූදානම් කළ කතාවලින් බැහැරව (Off-teleprompter) සියයට 80ක් පමණ අදහස් දක්වන බැවින් පෙරෙස්ට ඇතැම් අවස්ථාවල අභියෝගවලට ද මුහුණ දීමට සිදු වී තිබෙනවා.

විමර්ශනවලට අනුව, ට්‍රම්ප් යම් වචනයක් මඟ හැර යන විට පෙරෙස් විසින් කතාව සිදුවන අතරතුරදීම අන්තර්ජාලය හරහා ඇතැම් ඔට්ටු ඉල්ලා අස්කර ගැනීමට (Back out) පියවර ගෙන තිබෙනවා.

ඔහු විසින් පෙබරවාරි මාසයේ පැවැති රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය (State of the Union), ජනවාරි මාසයේ පැවැති ඩාවෝස් ලෝක ආර්ථික සමුළුවේ කතාව ඇතුළු ට්‍රම්ප්ගේ ප්‍රධාන කතා 12කට වැඩි ප්‍රමාණයකට මෙලෙස ඔට්ටු තබා ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ වන විට පෙරෙස් අදාළ නියාමන ආයතන සමඟ එකඟතාවකට (Settlement) පැමිණීමට සාකච්ඡා කරමින් සිටින අතර, ඒ යටතේ ඔහු උපයා ගත් සියලුම ලාභය නැවත රජයට ලබා දීමට සහ ඉදිරියේදී එවැනි ඔට්ටු ඇල්ලීම්වලින් වැළකී සිටීමට එකඟ වනු ඇතැයි වාර්තා වෙනවා.

මැන්හැටන් හි ෆෙඩරල් අභිචෝදකයන් මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෑත කාලයේදී අමෙරිකාව තුළ අනාවැකි වෙළඳපොළවල් ආශ්‍රිතව අභ්‍යන්තර තොරතුරු අවභාවිත කරමින් ඔට්ටු ඇල්ලීමේ (Insider Trading) සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති අතර, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඔට්ටු තැබූ විශේෂ බලකා සෙබළෙකුට සහ ගූගල් සෙවුම් දත්ත ඇසුරින් ඔට්ටු තැබූ ගූගල් සේවකයෙකුට එරෙහිව ද මීට පෙර අධිකරණ දෙපාර්තමේන්තුව නඩු පවරා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes