General21 July 2026

ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ගොඩ, ගනේගොඩැල්ල ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ බෝර 12 වර්ගයේ 'ෂොට් කටස්' ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (20) දින සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස සහ ගිනි අවි සොයාගෙන ඇතැයි ද එම බලකාය සඳහන් කරනවා.

අදාල ඉඩමේ සඟවා තිබියදී සොයාගත් නීති විරෝධී භාණ්ඩ අතර බෝර 12 ෂොට් කටස් ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, T-56 අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 07ක් සහ මිලිමීටර් 9 වර්ගයේ හිස් උණ්ඩ කොපුවක් තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 32 පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් පතොරම් ඇතුළු භාණ්ඩ කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes