General21 July 2026

කුකුළෙක් නිසා පියා රෝහලට යැවූ පුතාට මාංචු

සුරතලයට ඇති කළ කුකුළා මස් කර ව්‍යාංජනයක් ලෙස සකස් කිරීම නිසා කෝපයට පත්ව තම පියාට යකඩ බටයකින් පහර දී තුවාල සිදු කළැයි ලිදුල පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් ලබන අගෝස්තු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලිදුල, මවුස්සෑකැලේ වතුයායේ උඩ කොටසේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.

සැකකරු නිවෙසේ සුරතලයට ඇති කළ කුකුළා ඔහුගේ 65 හැවිරිදි පියා විසින් දිවා ආහාරය සඳහා මස් කර සකස් කර ඇති බවත්, ඊට කෝප වූ සැකකාර පුතා නිවෙසේ තිබූ යකඩ බටයකින් පියාගේ හිසට පහර දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

තුවාල ලැබූ පියාගේ තත්ත්වය බරපතල බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ලිදුල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පියා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි තොරතුරු හෙළි වුණා.
Related recommendation
Hiru TV News | Programmes