General22 July 2026

රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි

රත්‍රං සහ මුදල් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 10 දෙනෙකු මහනුවර වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

රත්‍රං තොගය අතර කිලෝ හතරකට ආසන්න බරින් යුත් රන් පොලු හතරක් වන බව සඳහන්.

මේ අතර සැකකරුවන් සතුව තිබී රුපියල් එක්කෝටි හැට නව ලක්ෂයක මුදලක්ද සොයා ගත් බව පොලීසිය පවසනවා.

කිලෝ 03යි ග්‍රෑම් 930ක් බර රන් පොලු හතරෙන් එක් රන් පොල්ලක් කිලෝ 1 1/2ක පමණ බරින් යුක්ත බව පොලීසිය පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්‍රං තොගයක් බවටයි පොලිසිය සැක කරන්නේ.

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත සැකකරුවන් වත්තේගම නවාතැන් පොළක රැඳී සිටියදීයි පොලීසිය විසින් (22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.

මෙම පිරිස කොළඹ කොටහේනේ සිට මහනුවරට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වුණා.

වැඩි මිලකට මෙම රන් තොගය අලෙවි කිරීම සඳහා රැගෙන ආ බවයි සැකකරුවන් පොලීසියට පවසා තිබෙන්නේ.

පොලීසිය භාරයට ගත් ඒවායේ අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු රිසට් පතක් ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වූ බවද පොලීසිය සඳහන් කළා.

මේ අතර සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ ඔවුන් ස්වර්ණාභරණ අලෙවිසලක් පවත්වාගෙන යන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර වැඩිදුර විමර්ශන සඳහා හෙට (23) කොළඹ අපරාධ විමර්ශන ඒකකයට භාර දෙන බවයි වත්තේගම පොලීසිය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes