General24 July 2026

වත්තල වෙඩි තැබීම: කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල වැරදී සමීපතමයෙකු මරුට

වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම අසල පිහිටි උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයෙකුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබුණේ, කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.

එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සුමේධ නැමැත්තෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ පුත්‍රයාගේ උපන්දින සාදය අදාළ උත්සව ශාලාවේ පවත්වා ඇති අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, කුඩු රෝෂාන් නැමැත්තා බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, වැරදීමකින් ඔහුගේ සමීපතමයෙකු වන සුමේධ නැමැත්තාට සැකකරුවන් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෙඩික්කරුවන් පැමිණි බව කියන කළු පැහැති මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවා.

කලක පටන් දෙපිරිසක් අතර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම්ක පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes