General27 July 2026

ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයා තවදුරටත් රිමාන්ඩ්

රුපියල් මිලියනයකට අධික භාණ්ඩ ආනයනය කරමින් රේගු ආඥා පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියට අදාල ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි එම සැකකරු ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (27) නියෝග කළා.

සැකකරුට එරෙහි පැමිණිල්ල පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් මෙය නිශ්ප්‍රභ කරන ලෙසත් විත්තිය විසින් මෙහිදී වි‍රෝධතාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී විත්තිය විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.

පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු අනුව විමසීමට නඩුකරයක් ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ සැකකරු මුදා හරින ලෙස කළ ඉල්ලීමද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි තොරතුරු අගෝස්තු 06 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ම‍ෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබුවා.
Related recommendation
Hiru TV News | Programmes